සීජී 60 නෞකාව වෙරළාරක්ෂක නෞකා සුරක්ෂා නමින් අධිකාරියට පත් කෙරේ
ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් සීජී 60 නෞකාව අද (ඔක්තෝබර් 21) රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, රුවන් විජයවර්ධන මැතිතුමා අතින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා “සුරක්ෂා” නමින් අධිකාරියට පත් කෙරිණි. මෙම අධිකාරියට පත් කිරීම අද (ඔක්තෝබර් 21) පස්වරු යෙදී තිබූ සුභ මොහොතින් කොළඹ වරායේ දී සිදු කෙරිණි. මෙම නෞකාව එක් වීමත් සමඟම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සතු විශාලම නෞකාව ලෙස මෙම නෞකාව ඉතිහාසයට එක් වනු ඇත.
එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, ආරක්ෂක ලේකම්, නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්, අතිගරු තරන්ජිත් සිං සන්දු මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා යන සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.
තවද, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඇතුළු විශාල පිරිසක් ද එක් වී සිටියහ.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු රුවන් විජයවර්ධන මහතා වෙත නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. ඉන් අනතුරුව සම්මාන මුරය පිරික්සූ එතුමා විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නෙවිල් උබයසිරි මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්රදානය කරන ලදී. එහිදී, කපිතාන් උබයසිරි මහතා විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුතුව භාර ගන්නා බවට ද ප්‍රතිඥා දෙන ලදී. ඉන් පසුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සුරක්ෂා නමින් අධිකාරියට පත් කරන ලද මෙම ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ගරු රාජ්‍ය ආරක්ෂකතුමන් අතින් සිදු කෙරිණි. තවද, ඔවුන් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම පිරිස දැනුවත් කරන ලදී.
ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැළැක්වීමේ මෙහෙයුම් සඳහාත්, නාවික පුහුණු කාර්යන් සඳහාත්, මෙම නෞකාව යොදා ගැනීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය අපේක්ෂා කෙරේ.
ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 05 වන දින ඉන්දියාවේ කොචින් වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම නෞකාව දිගින් මීටර් 74.10 ක් වන අතර, පළලින් මීටර් 11.4 කින් යුක්ත වේ. පැයට මුහුදු සැතපුම් 22 ක වේගයකින් යාත්‍රා කළ හැකි එය ටොන් 1160 ක ධාරිතාවයකින් සමන්විත වේ. මෙම නෞකාවේ නිලධාරීන් 14 දෙනෙකු ඇතුළු 100 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබන අතර, මෙහි අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නෙවිල් උබයසිරි මහතා කටයුතු කරයි. පැයට මුහුදු සැතපුම් 16 ක වේගයක් පවත්වා ගනිමින් නාවික සැතපුම් 8,500 ක පමණ දුරක් යාත්‍රා කිරිමේ හැකියාවද මෙම නෞකාව සතුව පවතී..
ශ්‍රී ලංකාව සතුව මුහුදු සැතපුම් 200 ක පමණ විශාලත්වයකින් යුත් විශේෂ ආර්ථික කලාපයක් සහ ඉදිරියේදී වර්ග කිලෝමීටර් 1,738,062.24 ක අති විශාල සාගර කලාපයක් හිමි වීමට නියමිතව ඇත. ඒවා ආරක්ෂා කිරීමේ වගකීම නාවික හමුදාවට පැවරෙන අතර, වත්මන් නාවික හමුදාධිපතිතුමන් විසින් එම භාර දූර රාජකාරිය ඉටු කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට එක් වූ මෙම නෞකාව මඟින් ඉදිරියේදී නාවික වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කිරීමට බලාපොරොත්තු වේ.


































