බංග්ලාදේශ නාවික නෞකා සොමුද්රා අවිජාන් කොළඹ වරායට සේන්දු වෙයි
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 23) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වේස් මහතා ද සහභාගී විය.
ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් එම් මොන්ටෘසමාන් මහතා ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් මස 26 වන දින මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.










