ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශොක් රාඕ මහතා ද සහභාගි වී සිටියේය.
ඉන් අනතුරුව ආරක්ෂක උපදේශක කපිතාන් අශොක් රාඕ මහතා සහ ‘සුට්ලෙජ්’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ට්රිබුවාන් සිං මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු වූහ. එහිදී ඔවුන් ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඒ අනුව ශ්රී ලංකා මුහුදු සීමාවේ රැඳි සිටින කාලය තුළ ඉන්දීය නාවික හමුදාව සහ ශ්රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙරට මුහුදු සීමා සිතියම් ගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, ලබන දෙසැම්බර් 21 වන දින දක්වා මැනීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඊට අමතරව නෞකාවන්හි කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.








