ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය 04 වන සංවත්සරය සමරයි
ගිණිකොන නාවික විධානයට අයත්, පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය අද (ඔක්තෝබර් 31) සිය 04 වන සංවත්සරය සමරනු ලැබු අතර, ඒ වෙනුවෙන් නාවික සම්ප්‍රදායානුකූල වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 28 වන දින මහනාග ආයතනයේ වත්මන් අණදෙන නිලධාරී, කපිතාන් සිසිර දිසානායක මහතාගේ අංශ පිරික්සීම සහ එතුමා විසින් නැව් මුළුව ඇමතීම පළමුව සිදු කරන ලදී. ඉන් අනතුරුව නිලධාරීන් සහ නාවිකයින් විසින් නාවික සම්ප්‍රදායානුකූල භෝජන සංග්‍රහය (බරාකානා) භුක්ති විදීමට එක් විය. මෙම සැමරුමට සමගාමීව අද සන්ධ්‍යාවේ වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ.
සිය සිව් වන නෞකා දිනය සමරන මහනාග ආයතනය ඒ වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් මෙන්ම ආගමික කටයුතු රාශියක් සංවිධානය කර තිබුණි. ඒ අතරින් පසුගිය ඔක්තෝබර් 18 වන දින නාවිකයන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පානම මූලික රෝහල අවට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී. එමෙන්ම පානම, බෝධිරුක්ඛාරාමයේදී නාවික හමුදාවට සෙත් පතා විශේෂ බෝධි පූජාමය පිංකමක් ද පැවත්විමට කටයුතු යොදා තිබුණි. තවද, නාවික පුද්ගලයින් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දෙපාර්තමේන්තු අතර සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ පැසිපන්දු තරඟාවලියක් පැවැත්විමට කටයුතු කර ඇත.














