අන්තර් විධාන පාපන්දු තරඟාවලිය යාපනයේදී නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මස 11 වන දින යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ පැවැත්විණි. උතුරු අර්ධද්වීපයේ පවත්වන ලද පළමු අන්තර් විධාන පාපන්දු තරඟාවලිය ලෙස මෙය සනිටුහන් විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රියර් අද්මිරාල් (විශ්‍රාමික) රොහාන් අමරසිංහ මහතා සහභාගී වූ අතර, උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ලේකම්, එල් ඉලංගෝවන් මහතා එහි විශේෂ ආරාධිතයෙකු වශයෙන් එම අවස්ථාව සඳහා එක් විය. ශ්‍රී ලංකා පාන්දු සම්මේලනයේ ජාතික සංවර්ධන කණ්ඩායමේ සභාපති, අර්ලි සිල්වේරා මහතා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ යොවුන් සංවර්ධන අංශයේ සභාපති, රෝහිත ප්‍රනාන්දු මහතා, නාවික හමුදා පාපන්දු සංචිතයේ ලේකම්, කොමදෝරු හසිත ගමගේ මහතා, නාවික හමුදා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
මෙම පාපන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එහි මූලික තරඟ වද්දුකොඩායි, යාපනය විද්‍යාලීය ක්‍රීඩාගණයේ සහ කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි. කන්ඩායම් 9 කින් සමන්විත මෙම ලීග් තරඟාවලිය ඒ සහ බී යන කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ අතර, පුහුණු, දකුණු, දියත් විධාන, ගිණිකොන සහ වයඹ යන නාවික විධාන ඒ කාණ්ඩයට අයත් විය. නැගෙනහිර, උතුරු මැද, උතුරු සහ බටහිර යන නාවික විධානයන් බී කාණ්ඩය යටතේ තරඟ වදින ලදී. තරඟාවලියේ ඒ කාණ්ඩයේ ශූරයන් බවට පුහුණු නාවික විධානය පත් වෙද්දී, එහි අනුශූරතාවය දකුණු නාවික විධානයට හිමි විය. බී කාණ්ඩයේ ශූරතාවය හිමි කර ගැනීමට උතුරු මැද නාවික විධානය සමත් වන විට බටහිර නාවික විධානය එහි අනුශූරයන් බවට පත් විය. අවසන් පූර්ව වටයේ තරඟාවලියේදී ඉතා තියුණු තරඟයකින් අනතුරුව බටහිර සහ උතුරු මැද නාවික විධාන කණ්ඩායම් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.
ඒ අනුව, FIFA ජාත්‍යන්තර පාපන්දු විනිසුරුකරුවෙකු වන තරංග පුෂ්පකුමාර මහතාගේ විනිෂ්චය හමුවේ අවසන් තරඟය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. ඉතා උද්යෝගිමත් වූ එම තරඟයේ කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරන ලදී. ඒ අනුව තරඟයේ ශූරතාවය ලබා ගැනීම සඳහා දඩුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව උදා කර දීමට සිදු විය. ඒ අනුව, ලකුණු 06 ට 05 ක් වශයෙන් උතුරු මැද නාවික විධානය පරදා බටහිර නාවික විධානය තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.
දක්ෂතම පන්දු රකින්නා වශයෙන් උතුරු මැද නාවික විධානයේ බල නාවික එච්ආර්ඩීඑස් ප්‍රසාද් කුසලානය හිමි කර ගන්නා ලදී. දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගනු ලැබුවේ බටහිර නාවික විධානයේ බල නාවික එච්ඒඩී මෙන්ඩිස් විසිනි. තරඟාවලිය අවසානයේ ඒ සඳහා සහභාගී වූ සියළුම කණ්ඩායම් කරෙයිනගර් ෆෝට් හැමන්හිල් හිදී ප්රියසම්භාෂණයක් සඳහා එක් වූ අතර, එම අවස්ථාව නාවික හමුදා වාදක අංශයේ ගායන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය.














