230 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 383 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 230 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 383 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (දෙසැම්බර් 02) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා සහභාගී විය.
ගරුතර මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වැඩබලන ආඥාපති සහ පුහුණු විධායක, කොමාණ්ඩර් (නාසෙ) වජිර අබේරත්න මහතා ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවී සිටියහ.
ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්රධානයක්ද සිදු කෙරිණි. එහිදී 230 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නාවික එස්සි බණ්ඩාර කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නාවික එස්එම් විජේසිංහ කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නාවික ඩිඑම්එස්ඩි දුණුසිංහ හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නාවික ජිටිපිටි විජේසිංහ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය ද දිනාගන්නා ලදී.














