ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් බිරෙන්ඩර් සිං ධනෝආ මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් එතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ද එයාර් චීෆ් මාෂල් ධනෝආ මහතා පිළිගැනීම සඳහා එක් විය.
ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දීය ගුවන් හමුදා ප්රධානීතුමන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඇතුළු ඉන්දියානු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.








