නාවික හමුදාව ඉරාන යුද නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු කඩිනමි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 14) අළුයම කටයුතු කරන ලදී.
මෙම යුද නෞකාවේ රාජකාරී නියුතු නාවිකයෙකු හදිසියේ රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ සිටින බැව් නාවික හමුදාවට තොරතුරු ලැබිණි. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගී නාවිකයා රැගෙන ඒම සඳහා පී 4443 දරණ වේග ප්‍රහාරක යාත්‍රාව පිටත් කර හරින ලදී. ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 60 ක පමණ දුරකදී රෝගී නාවිකයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවා නිරුපද්‍රිතව ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමට කටයුතු කළ අතර, වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය නාවික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කෙරිණි.
මීට පෙර අවස්ථා රාශියකදීම මුහුදේ යාත්‍රා කරමින් තිබූ නාවික නෞකා, වෙළඳ හා භාණ්ඩ ප්‍රවාහන නෞකා, පුද්ගල ප්‍රවාහන නෞකා මෙන්ම බහුදින ධීවර යාත්‍රා වල අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පුද්ගලයින් කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කොට ඇත. එමෙන්ම මුහුදේ යාත්‍රා කරමින් සිටියදී මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ ගොඩබිම වෙත රැගෙන ඒමට ද නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
ඕනෑම අවස්ථාවක මුහුදේ යාත්‍රා කරමින් තිබෙන නෞකා සහ යාත්‍රාවන් සඳහා මෙවැනි මානුෂීය ආධාර ලබා දීමට සහ අනතුරකට හෝ ආපදාවකට ලක්ව සිටින නාවික සහ ධීවර ප්‍රජාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව නිරන්තර කැපවීමෙන් කටයුතු කරනු ලබයි.









