බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 2 ක් කොළඹ වරායට
බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් අද (දෙසැම්බර් 16) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
එම අස්ථාව සඳහා ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. නෞකාවන් ද්විත්වයම දිගින් මීටර් 85 ක් වන අතර පළලින් මීටර් 10.5 ක් වේ. ටොන් 1300 ක ඉපිලුම් ගැඹුරකින් යුත් එම නෞකාවන්ගේ නාවික පුද්ගලයින් 89 දෙනෙකු බැගින් රාජකාරී කරනු ලබයි.
කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් මසුදුල් කරීම් සිද්දික් සහ කපිතාන් එන්ෂනුල්ලා ඛාන් යන නිලධාරීන්, බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතය. මෙම නෞකාවන් එළබෙන 18 වන දින ශ්රී ලංකාවෙන් පිටත් වීමට නියමිතව ඇත.
















