වාහන ප්‍රවාහන නෞකාවේ ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම
ජනවාරි මස 09 වන දින රාත්‍රී 1120 ට පමණ කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ මාෂල් දූපතට අයත් ‘MV GLOVIS CAPTAIN’ නමැති වාහන ප්‍රවාහන නෞකාව සහ පසුගිය ජනවාරි මස 01 වන දින පුද්ගලයින් 7 දෙනෙකු රැගෙන හික්කඩුව ධීවර වරායෙන් පිටත් වූ නදීශා II නමැති බහුදින ධීවර යාත්‍රාව දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක් පමණ ගැඹුරු මුහුදු සීමාවේදී එකිනෙක ගැටී අණතුරට ලක්වී ඇත.
එම අවස්ථාවේදී එම නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, එම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය වෙත තොරතුරු ලද සැනින් දකුණු නාවික විධානයට අනුයුක්ත පී 492 සහ 480 යන වේග ප්‍රහාරක යාත්‍රා (ඩෝරා යාත්‍රා) ඊයේ මධ්‍යම රාත්‍රියේදීම එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රා විසින් දියත් කරන ලද සෝදිසි කිරීමේ මෙහෙයුම් මඟින් තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇති අතර, මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට ද ඔවුන් සමත් වී ඇත. බේරා ගනු ලැබූ ධීවරයින් තිදෙනා සහ මෘත දේහ මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ධීවර යාත්‍රාවේ සිටි එක් පුද්ගලයෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර, එම පුද්ගලයාගේ මෘත දේහය රැගෙන නැවත ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටියදී, මෙම අනතුර සිදුවී ඇත. ධීවර යාත්‍රාව තුළදී මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය තවමත් බහුදින ධීවර යාත්‍රාව තුළ පවතිනු ඇතැයි සැක කෙරෙන අතර, වාහන ප්‍රවාහන නෞකාව සහ ඩෝරා යාත්‍රා අනතුර සිදුවූ මුහුදු ප්‍රදේශයේ රැදී සිටිමින් එම ධීවර යාත්‍රාව මුහුදුබත් වීම වැලැක්වීමට කටයුතු කොට ඇත. තවද, අතුරුදහන්ව ඇති තවත් පුද්ගලයෙකු සොයා නාවික හමුදාව තව දුරටත් සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.








