බංග්ලාදේශ නාවික හමුදාවට අයත් නෞකාවන් 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි
බංගලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (පෙබරවාරි 07) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
අලි හයිඩර් නෞකාව දිගින් මීටර් 103.22 ක් හා පළලින් මීටර් 10.83 කින් යුක්ත වන අතර, 200 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. නිර්මුල් නෞකාව දිගින් මීටර් 62.2 කින් සහ පළල මීටර් 9 කින් යුක්ත වන අතර, නිලධාරීන් සහ නාවිකයන් 70 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.
නෞකාවන් දිවයිනට සේන්දු වීමෙන් අනුතුරුව එහි අණදෙන නිලධාරීන් වන කපිතාන් ඒඑස්එම් අෆ්සාලුල් හක් සහ කොමාණ්ඩර් ඒඑන්එම් ඉෂ්ටියාක් ජාන් ෆැරෝගී යන මහත්වරුන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන පෙබරවාරි 09 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.














