ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - MILAN 2018 සඳහා ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් අන්දමන් දුපත් බලා පිටත්වෙයි
ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (මාර්තු 02) ත්‍රිකුණාමල වරායෙන් අන්දමන් දුපත් බලා පිටත් විය. මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නියෝජ්‍ය ආඥාපතිතුමන් විසින් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී. එම නෞකාවන් මාර්තු මස 06 වන දින අන්දමන් දුපතේ බ්ලෙයාර් වරාය වෙත ලඟා වීමට නියමිතය.
නෞකාවන්ගේ සමස්ථ කාර්යය මණ්ඩලය 284 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 27 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 06 දෙනෙකු ද ඇතුළත් වේ.
මෙම ඒකාබද්ධ මිලාන් නාවික පුහුණු අභ්‍යාසය ‘සාගරික මිත්‍රත්වය’ යන තේමාව කර ගනිමින් මාර්තු මස 06 වන දින සිට 13 වන දින දක්වා බ්ලෙයාර් වරායේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එහිදි, මුහුදු සීමාව තුළ අන්තර් ක්රියාකාරිත්වයන්, සමුද්‍රිය යහපැවැත්ම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සහ නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් වලට එරෙහිව කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එමගින් ඉන්දියන් සාගරයට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.
ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ද්විත්වය මාර්තු මස 13 වන දින සිය කර්තව්‍යයන් සාර්ථක ලෙස නිමා කරමින් බ්ලෙයාර් වරායෙන් පිටත් වී නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.








