ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සර දිනය පසුගිය මාර්තු මස 01 වන වන දිනට යෙදී තිබූණි. එය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ අණදෙන නිලධාරි කපිතාන් තුෂාර උඩුගම මහතා ඇතුළු නැව් මුළුව ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, පෙබරවාරි මස 18 වන දින කන්තලේ තිස්සපුර ශ්‍රි අග්බෝ පුරාණ රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ ආගමික වැඩසටහන් පැවැත්වු අතර, හින්දු ආගමික උත්සවය නාවික තඨාකාංගණයේ ගණපති කෝවිල කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදි.
එමෙන්ම නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සියළුම නාවික හමුදා පුද්ගලයින්හටත් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්හටත් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ පසුදින ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් මෙන්ම පිරිකර පූජාවක්ද පැවැත්විණි.
මීට සමගාමීව නාවික තඨාකාංගණයේ සියළුම දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි සංවිධානය කෙරුණු ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ ක්රිඩාපිටියේදී පැවැත්වුණු අතර, විධානයේ නාවික පුද්ගලයින්ගේ රසාස්වාදය වෙනුවෙන් ජයලත් මනෝරත්න ශූරීන්ගේ “හඬ නිහඬ” වේදිකා නාට්‍ය ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී වේදිකා ගත කරන ලදි.
තවද, 33 වන නාවික තඨාකාංගණ දිනය වෙනුවෙන් පසුගිය මාර්තු මස 02 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා සම්ප්‍රදායට මුල් තැන දෙමින් ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් තුෂාර උඩුගම මහතා විසින් අංශ පිරික්සුම සහ නියෝජ්‍ය ආඥාපති මෙරිල් සුදර්ශණ මහතාගේ සහභාගිත්වයෙන් මංගල භෝජන සංග්‍රහ චාරිත්‍රයද පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර දින සැමරුම් වැඩසටහන නිමාවට පත්විය.




















