ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක ‘සුරක්ෂා’ නෞකාව මගින් කොළඹට වැඩම කරවයි
සිරස මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපය වෙත පැමිණෙන සැදැවතුන්ගේ පුද පූජාවන් වෙනුවෙන් තැන්පත් කිරීම සදහා ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක ‘සුරක්ෂා’ නෞකාව මගින් ඊයේ (අප්‍රේල් 28) කොළඹට වැඩම කරවන ලදී. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ සුරතින් සර්වඥ ධාතූන් වහන්සේ විහාරස්ථානයේ සිට ගාල්ල වරාය වෙත වැඩම කර වූ අතර, ඉන් අනතරුව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නෙවිල් උබයසිරි මහතා විසින් සර්වඥ ධාතූන් වහන්සේ සැදැහැ සිතින් යුතුව නෞකාව වෙත භාර ගන්නා ලදී.
ඒ අනුව, ඊයේ අළුයම ගාලු වරායෙන් පිටත් වූ ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක ‘සුරක්ෂා’ නෞකාව පස්වරු 1.30 පැයට කොළඹ වරාය වෙත සේන්දූ වූ අතර, එහිදී බටහිර විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සර්වඥ ධාතූන් වහන්සේ සැදැහැ සිතින් භාර ගැනීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව විශේෂ පෙරහැරක් පෙරටු කර ගනිමින් කොළඹ වරාය පරිශ්‍රයේ සිට නාවික හමුදා මුලස්ථානය වෙත සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත භාරකරන ලද අතර, එහිදී නාවික හමුදා මුලස්ථානයේ ඉදි කරන ලද විශේෂ මණ්ඩපයක සර්වඥ ධාතූන් වහන්සේ තැම්පත් කරන ලදී.
එමෙන්ම වැඩමවා වදාල ගරුතර මහා සංඝරත්නය විසින් පැමිණි සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව උදාකර දෙන ලදී. අනතුරුව පස්වරු 5.00 පැයට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා විසින් සර්වඥ ධාතූන් වහන්සේ පෙරහැර මධ්‍යයේ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත වැඩම කරවා එතැන් සිට විශේෂ රිය පෙරහැරකින් කොළඹ, හුනුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරු සහ නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සිරස මාධ්‍ය ජාලයේ නිලධාරින් පිරිසක් සහභාගීවි සිටියහ. තවද, සර්වඥ ධාතූන් වහන්සේ කොළඹට වැඩම කරවිමේ පුණ්‍ය කටයුතු සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය යටතේ සිදු කරන ලදී.













