නාවික හමුදා කණ්ඩායම් 49 ක් අඛණ්ඩව සහන සැළසීමේ මෙහෙයුම්වල
ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වනතුරු පහව ගොස් නොමැති අතර, ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී ඇත. ඔවුන්ගේ දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පළපුරුදු දැනුම ඇති නිලධාරීන්ගෙන් හා නාවිකයන්ගෙන් සමන්විත නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 49 ක් සහ ඩිංගි යාත්‍රා 49 ක් දක්වා වැඩිකර ඇති අතර, දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් වෙත එම කණ්ඩායම් අනුයුක්ත කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයට විටින් විට ඇදහැලෙන වර්ෂාව නිසා අයගම, ඇලපාත, මඩබද්දර, විහාරගංගොඩ, පල්ලෙගෙදර දම්ඹුළුවාව වැනි ප්‍රදේශ රැසක තවමත් ජලමට්ටම පහව ගොස් නොමැති බැවින්, ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑමක් එල්ලකර ඇත. ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ප්‍රවාහන පහසුකම් නොකඩවා සලසා දීම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් අඛණ්ඩ මෙහෙයුමක නිරතව ඇත.
කඩුවෙල බියගම හරහා කැළණි ගඟ දෙපස යාකරමින් ඉදිකර ඇති පාලම ගං ඉවුරු ඛාදනය විම හේතුවෙන් ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බැවින්, නාවික හමුදා සහන කණ්ඩායම් පෙර දින සවස 04.30 සිට වැලිකොට්ට අතුරමින් ගං ඉවුරු ඛාදනය වැලැක්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර, දැනට පැරණි කඩුවෙල පාලමට සමගාමීව ඉදිකෙරෙන තාවකාලික ජංගම පාලම තැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 24) දිනයේ සිට මේ දක්වා තම ශ්‍රම දායකත්වය ලබා දෙනු ලබයි.
අද (මැයි 25) අළුයම තබ්බෝව ප්‍රදේශයේ ජලගැලීම හේතුවෙන් විපතට පත් පුද්ගලයින් 116 දෙනෙකු මේ වනවිට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙනයාමට කටයුතු කර ඇති අතර තවදුරටත් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
තවද, බියගම ගරනාගම උණසෙවන හෝටලයේ සිටි පුද්ගලයෙකු ඇලකින් දිය නෑමට ගොස් අතුරුදන්ව ඇති අතර, අද (මැයි 25) අළුයම සිට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ජාඇල දෑලතුර ප්‍රදේශයේ පිහිටි ඇලක ජලය පිරී පිටාර ගැලීම හේතුවෙන් ඇලවේල්ලට සිදුවිය හැකි හානිය අවමකර ගැනීමට සහ අවට ප්‍රදේශ ජලයෙන් යටවීම වැලැත්වීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් වැලි කොට්ට අතුරමින් එය මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
දැනට රත්නපුරය සඹරගමුව මහජන ක්‍රීඩාංගනයේ ස්ථාන ගත කර ඇති නාවික හමුදා ජංගම මුළුතැන්ගෙය මගින් සහන සේවාවන් වල නිරතව සිටින නාවික පුද්ගලයන්ට හා විපතට පත් ජනතාව හට ආහාර පිළියෙල කිරීමද සිදු කරනු ලබයි. තවදුරටත් මහජනතාව වෙත සහන සැළසීම සඳහා සිය දායකත්වය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සුදානමින් සිටියි.











































