‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පසුගිය මැයි 25 වන දින පවත්වන ලද අතර, ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව: අවස්ථා හා අභියෝග’ යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.
ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශ නාවික හමුදා සැපයුම් නිලධාරීන් ඇතුළුව වෘත්තිකයන්, විද්වතුන්, ජාතික හා පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජිතයන්, රජයේ ආයතන සහ පුද්ගලික ආයතන මෙන්ම ක්ෂේත්රයට සම්බන්ධ කීර්තිමත් විද්වතුන් විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට එක්වී සිටියහ. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ගරු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහභාගී වූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුලුව සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා විසින් සම්මන්ත්‍රණය සඳහා පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව, සමාරම්භක දේශනය පවත්වමින් විද්වත් පිරිස ඇමතු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සමග මෙම සම්මන්ත්‍රණයේ කාලෝචිත බවද අවධාරණය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ගරු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හට විශේෂ ස්තුතිය පිරිනමන ලදී.
අනතුරුව සම්මන්ත්‍රණය ඇමතූ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ නැගී එන්නා ලෙස එහි භූ- ආර්ථික කේන්ද්රස්තානගත පිහිටීම ප්‍රයෝජනයට ගත යුතු බව අවධාරණය කළේය.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ගරු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, මෙවර තේමාව වු ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව: අවස්ථා හා අභියෝග’ අනුව යමින් ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, වර්තමාන රජයේ සෘජු විදේශ ආයෝජන පිළිබඳ ප්‍රතිපත්තිය සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට ලබා ගත හැකි ප්‍රයෝජන පිළිබඳව අදහස් දක්වමින් හරවත් දේශනයක් සිදු කරන ලදී.
සම්මන්ත්‍රණය සඳහා ඉදිරිපත් කරන ලද පර්යේෂන නිබන්ධන ප්‍රධාන අංශයන් තුනකින් සමන්විත විය. පළමු අංශය සඳහා ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් සඳහා වන රජයේ මුල්‍ය ප්‍රතිපත්ති භාවිතය හා පාලනය’ සම්බන්ධ නිබන්ධන සාකච්ඡා වු අතර, දෙවන අංශය සඳහා ‘දකුණු ආසියානු කලාපයේ මුල්‍ය කේන්ද්‍රස්ථානයක් සඳහා සෘජු විදේශ ආයෝජන තුලින් ආර්ථික වර්ධනයට වන බලපෑම’ සම්බන්ධ නිබන්ධන සාකච්ඡා කරන ලදී. තෙවන අංශය සඳහා ‘යුධමය කටයුතු සම්බන්ඳයෙන් සහයෝගීතාවය තුලින් ශ්‍රී ලංකාව කලාපීය මුල්‍ය කේන්ද්‍රස්ථානයක් කරා’ සම්බන්ධ නිබන්ධන සාකච්ඡා කිරීමෙන් අනතුරුව සම්මන්ත්‍රණයේ නිමාව සනිටුහන් කරමින් අදහස් දැක්වු මහාචාර්ය රන්ජිත් බංඩාර මහතා, ඉදිරිපත් කර තිබූ නිබන්ධන සහ පැවැත්වු සංවාද පිළිබඳ සමාලෝචනයක් කර සම්මන්ත්‍රණයට සහභාගීවු දෙස් විදෙස් නියෝජිතයන්ට සහ සහයෝගය දුන් ආයතනවලට ස්තුතිය පල කරන ලදී.
හරවත් දෙසුම් සහ සංවාද ඔස්සේ සැපයුම් ක්ෂේත්රය පිළිබඳව නව දැනුම් සම්භාරයක් ලබා දෙමින් පැවැත්වුනු ත්‍රිකුණාමලය ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සාර්ථක ලෙස නිමාවට පත්විය.























