නාවික හමුදාව සතු වේග ප්රහාරක මුර නෞකාවන් හතරක් සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා නාවික හමුදාව සතු වේග ප්රහාරක මුර නෞකාවන් වන ශ්රී ලංකා නාවික නෞකා උදාර, ශ්රී ලංකා නාවික නෞකා එඩිතර II, ශ්රී ලංකා නාවික නෞකා වික්රම II සහ ශ්රී ලංකා නාවික නෞකා අභීත II නෞකාවන් ඊයේ (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී. එය නිමිති කර ගනිමින් නෞකාවන්හි අණදෙන නිලධාරින් සහ කාර්යය මණ්ඩලය විසින් බෝධි පුජා පිංකම් ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්රියාත්මක කරන ලදී.
ඒ අනුව, ශ්රී ලංකා නාවික නෞකා උදාර, ශ්රී ලංකා නාවික නෞකා එඩිතර II, ශ්රී ලංකා නාවික නෞකා වික්රම II සහ ශ්රී ලංකා නාවික නෞකා අභීත II නෞකාවන්හි අණදෙන නිලධාරින් වන පිලිවෙලින් කොමාණ්ඩර් ලංකානාථ දිසානායක මහතා, ලුතිනන් කොමාණ්ඩර් සේනක වාහල මහතා, ලුතිනන් කොමාණ්ඩර් දිනේෂ් කරුණාරත්න මහතා සහ ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත කරියවසම් මහතා විසින් කන්කසන්තුරෙයි, ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි අංක 02 ජැටියේදී සහ සරඹ පිටියේදී අංශ පිරික්සුම් පවත්වන ලදී. තවද, අණදෙන නිලධාරිතුමාන්ලාගේ ප්රධානත්වයෙන් මංගල භෝජන සංග්රහ චාරිත්රයද පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර දින සැමරුම් වැඩසටහන් නිමාවට පත්විය.



















