ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි නාවික හමුදාධිපති හමුවෙයි
අද (ජුනි 18) දින, මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද පිළිසදරක ද නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
තවද, නාවික හමුදාධිපතිතුමා සර්කෝෆ් නෞකාවේ නිරික්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රංශ තානාපති, ගරු ජීන් මරීන් ෂුහ් මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ අධ්යක්ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා සහභාගිවී සිටියහ.









