රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය ඊයේ (ජුනි 21) කටයුතු කරන ලදී.
පසුගිය ජුනි මස 14 වන දින බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ නලින් 09 නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාවේ ගමන් ගත් එක් ධීවරයෙකු උණ රෝගය වැළදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වී තිබිණි.
මේ පිළිබඳව තොරතුරු ලද විගස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ‘සුරක්ෂා’ නෞකාව සහ දකුණු නාවික විධානයට අනුයුක්ත පී 450 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය කටයුතු කරන ලදී. ඒ අනුව, ගාල්ල, ප්‍රදීපාගාරයට ගිණිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම රෝගියා සුරක්ෂා නෞකාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව රැගෙන එමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාරදීමට කටයුතු කරන ලදී. අනතුරුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් හම්බන්තොට වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත භාර දීමට කටයුතු කරන ලදී.




