අනතුරටපත් වෙළඳ නෞකාවක සිටි නාවිකයින් බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය
බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (ජුනි 26) අළුයම කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ‘මුතා පයනියර්’ නම් වෙළඳ නෞකවේ සිටි කපිතාන් අතුළු නාවිකයින් 11 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
ඩොමිනිකා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම වෙළඳ නෞකාව කපිතාන්වරයා හට පාලනය කර ගත නොහැකිව වම් පසට ඇලවී ඇති බව නාවික හමුදාවට දැනුම් දී ඇති අතර, ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම නෞකාව වෙත වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව නාවික යාත්‍රා මඟින් නෞකාව තුළ සිටි නාවිකයින් ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමෙන් පසු කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
තවද, නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ නාවිකයින් පිරිස අතරට ශ්‍රී ලාංකීකයින් 10 දෙනෙකු සහ එක් ඉන්දුනීසියා ජාතිකයෙකු ඇතුලත් වන අතර, නෞකාවේ කපිතාන් වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලාංකීක ජාතීකයෙකු වේ. එමෙන්ම මෙම නෞකාවේ හිමිකරු ඉන්දියානු ජාතිකයෙකු වන අතර, අදාල නාවිකයින් පිරිස කොළඹ, වරාය පොලිසිය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.













