ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 27 වන දින සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගි විය.
තවද, මෙම අවස්ථාව සඳහා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ධුරන්දර ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමිපාණන්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා, පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහ පළාතේ මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇරඹූ නටඹුන් වූ බෞද්ධ සිද්ධස්ථාන නැවත ප්රතිෂ්ථාපනය කිරීම උදෙසා වූ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගත් ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය මත දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තෝරාගෙන එම සේනාසනයේ සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කළ අතර, එහි ශ්‍රම දායක්තවය නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මඟින් ලබා දීමට කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස නිම කිරීමට දායක වූ නාවිකයින් සමඟ සුහද පිළිසඳරක නිරත වූ නාවික හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සේවය ඇගයීමට ද එහිදී කටයුතු කරන ලදී. තවද, එතුමන් ‘පිබිදෙමු පොලොන්නරුව’ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය යටතේ සිදු කරගෙන යනු ලබන ව්‍යාපෘතින්වල නිරික්ෂණ චාරිකාවාරයක ද නිරත වූ අතර, මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ නාවික සිවිල් ඉංජිනේරු, කොමදෝරු සිසිර විරකෝන් මහතා, නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.









