බංග්ලාදේශය හා මාලදිවයින නාවික නිලධාරීන් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ දෙවන කණ්ඩායමේ පුහුණු සමාප්ති උත්සවය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ආධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහාතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 29) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විය. තවද, නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීම, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් සහ ක්රමෝපායන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ලබා දුන් පුහුණුවීවෙන් ලද දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් තම හැකියාවන් විදහා දැක්වීම සඳහා ඔවුන් විසින් නාවික අභ්‍යාසයක් ද සිදු කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ සීෂේල්ස්හි ජ්‍යෙෂ්ඨ නියෝජිත, ශානක ජයසේකර මහතා, නැගෙනහිර නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා සහ විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහභාගී වී සිටියහ.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවනවරට පවත්වනු ලැබු මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වූ අතර, පසුගිය ජුනි 18 වන දින සිට 29 වන දින දක්වා එය පැවැත්විය. ඒ අනුව බංග්ලාදේශය, මාලදිවයින යන රටවල නාවික හමුදා නිලධාරින් 16 දෙනෙකු සහභාගී වූ අතර, ඒ සඳහා බංග්ලාදේශ නාවික පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයින නාවික පුද්ගලයින් 08 දෙනෙක් ඇතුළත් වීය. තවද, මෙවර එම පාඨමාලව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 12 දෙනෙකු සහභාගී වූ අතර, මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්විම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරන ලදී.
ප්‍රධාන ආරාධික අමුත්තා වශයෙන් එක්වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් සිල්වා මහතා විසින්, උසස් නාවික පුහුණුවකින් පසු විසිර යන විදේශීය නාවිකයන් හට සුභපැතුම් එක් කළ අතර, සිය පුහුණුව සාර්ථකව නිම කිරීම සමබන්ධයෙන් ඔවුන්හට සහතික පත්‍ර ප්රදානය කිරීමක් ද සිදු කෙරිණි. අනතුරුව උත්සව අවස්ථාව ඇමතූ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ සීෂේල්ස්හි ජ්‍යෙෂ්ඨ නියෝජිත, ශානක ජයසේකර මහතා මෙම පුහුණුව ඉතා උසස් අයුරින් සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ එම කාර්ය මණ්ඩලයට මෙන්ම සමස්ථ නාවික හමුදාව වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කටයුතු කරන ලදී.















