උතුරු නාවික විධානය විසින් නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්ෂණ රෝහලේ සහ යාපනය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ සහයෝගයද ඇතිව උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (ජුලි 07) කන්කසන්තුරේයි, නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
අලුතින් පදිංචිකරවන ලද මාවඩිපුරම් ග්‍රාමයේ සහ නල්ලිනකාපුරම් ග්‍රාමයේ පදිංචිව සිටින විශාල පිරිසක් මෙම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් අතර, නාවික හමුදාව උතුරු අර්ධද්විපයේ සිදු කරනු ලබන මෙවැනි ප්‍රජා සත්කාර සේවාවන් ඔවුන්ගේ නොමද පැසසුමට ලක් විය.
කායික රෝග, ළමා රෝග, දන්ත, මානසික යන ක්ෂේත්‍ර වල වෛද්‍ය විශේෂඥයන් සහ වෛද්‍ය රසායනාගාර ශිල්පීන් සහභාගී වු මෙම සායනයේදී රෝග පරීක්ෂාව, සියළු පරීක්ෂණ සහ ප්රතිකාරද නොමිලේ ලබා දෙන ලදි. එසේම බෝවන රෝග, බෝ නොවන රෝග, ශ්වසන ආබාධ, වියපත් පුද්ගලයින්ගේ සහ කාන්තාවන්ගේ රෝගාබාධ සම්බන්ධයෙන්ද ප්‍රතිකාර සිදු කරනු ලැබීය. තවද, මේවන විට උතුරු නාවික විධානය විසින් ක්ෂේත්‍ර වෛද්‍ය සායන 25 කට අධික ප්‍රමාණයක් සහ යාපනය ශික්ෂණ රෝහල සමග ඒකාබද්ධ වී වෛද්‍ය සායන 08 ක් යාපනය අර්ධද්විපය තුල පවත්වා ඇත.
මෙම වෛද්‍ය සායනය මගින් රෝගීන් වෙත නිකුත් කළ ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදි.













