රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය නාවික හමුදා මැරීන් සාමාජිකයින් සාර්ථකව අවසන් කෙරේ
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගී විම සඳහා පසුගිය මැයි 21 වන දින දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද ඇතුළු නාවික හමුදා මැරීන් බලකා සාමාජිකයින් පසුගිය 07 වන දින සිය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනට පැමිණෙන ලදී.
1971 දී ප්‍රථමවරට ආරම්භ කරන ලද මෙම අභ්‍යාසය මෙවර පවත්වන ලද්දේ 26 වන වරටයි. මෙම අභ්‍යාසය සඳහා ශ්‍රීලංකාව, ඕස්ට්‍රේලියාව, බෲනායි, කැනඩාව, චිලී, කොලොම්බියාව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පිලිපීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය ඇතුළුව රටවල් 25 ක් නියෝජනය කරමින් ක්ෂේත්‍ර බලකා නාවික පුද්ගලයින් 25000 ක් සහභාගී වන ලදී. නෞකා 47, සබ්මැරීන් 05 ක් සහ ගුවන් යානා 200 කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් වු මෙම අභ්‍යාසය ජුනි මස 28 වන දින සිට අගෝස්තු මස 02 වන දින දක්වා හවායි සහ දකුණු කැලිෆෝනියා යන ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වූ අතර, මෙම අභ්‍යාසයේ පරිපාලන කටයුතු පර්ල් වරායේ ස්ථාපිත කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් නාවික බළඇණි මූලස්ථානයේ වෙරළාරක්ෂක මැරීන් බලකාය සහ හවායිහි ජාතික ආරක්ෂක බලකාය විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා නාවික මැරීන් සාමාජිකයින් ඔස්ට්‍රේලියා ටවුන්විල් හිදි ඔස්ට්‍රේලියා රාජකීය නාවික හමුදා මැරීන් බලකා සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මැරින් බලකා සාමාජිකයින් සමඟ එක්ව සතියක ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනකට සහභාගී වූ අතර, එහිදී නගර බද මෙහෙයුම්, සටන් පුහුණු සහ ක්ෂේත්‍ර සංඥා ඇතුළු පුහුණුවීම් කටයුතු රැසක් සඳහා සහභාගී වන ලදී. තවද, ඔස්ට්‍රේලියා රාජකීය නාවික හමුදාවට අයත් ඇඩිලේඩ් නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම හවායි බලා යාත්‍රා කරන අතරතුර ෆීජි සහ ටොන්ගා යන දුපත්වල සංචාරය කර, මානුෂිය ආධාර සහ ආපදා සහන සැලසීම සහ භූජලතරණ අභ්‍යාස පිලිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමටත් පුහුණු කටයුතු තව දුරටත් වර්ධනය කර ගැනීමටත් කටයුතු කරන ලදී.
තවද, රොකට්, අත් බෝම්බ, 40 මිමි මෝටර්, 60 මිමි මෝටාර් වෙඩි තැබිම් සහ ආර්පීජී වෙඩි තැබීම පිළිබඳව නව අත්දැකිමක් සහ පුහුණුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික මැරීන් කණ්ඩායමට මෙම අභ්‍යාස තුළදී හැකි වූ අතර, පසුගිය ජුලි 24 වන දින අවසන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහාද ඔවුන් සහභාගී වන ලදී. එමෙන්ම මෙම අභ්‍යාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම විදේශිය නාවික අභ්යාසයකදි ප්‍රථම වරට භූජලතරණ අභ්‍යාසයන් සඳහා ද සහභාගීවන ලදී.
සමුද්‍රීය ආරක්ෂාව සහ ගුවන් ආරක්ෂක මෙහෙයුම් ආවරණය වන පරිදි සිදු කරන ලද ලොව විශාලතම ජාත්‍යන්තර නාවික අභ්‍යාසය වන මෙම අභ්‍යාසය ආපදා සහන, අධිභෞතික මෙහෙයුම්, මිසයිල ප්‍රහාර සහ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධ අභ්‍යාසයන්ගෙන් සමන්විත වු අතර, විදේශිය මැරීන් බලකායන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ අන්තර්ජාතික මුහුදු කළාපයේ ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීම මෙම අභ්‍යාසයෙන් අපේක්ෂා කරන ලදී.






















