පකිස්ථාන් නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 13) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන්, අෂාර් මහමුද් මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි මහතා ද සහභාගී විය.
සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද අත්පන්දු කිඩා තරඟයකට ද සහභාගී වීමට නියමිතව ඇත.
දිගින් මීටර් 95 ක් සහ පළලින් මීටර් 12.2 කින් යුත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව ටොන් 1550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 74 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන අගෝස්තු 16 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.









