නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ අද දින (2023 ජුනි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1989 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 07 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ ඉපලෝගම නිවාස සංකීර්ණයෙහි ව්‍යාපෘති භාර නිලධාරී, විධාන සිවිල් ඉංජිනේරු නිලධාරි (බටහිර), අකුරේගොඩ ඉදිකිරීම් ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති භාර නිලධාරී, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (උතුර), අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ නාවික හමුදා ඉදිකිරීම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, යාපනය ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති භාර නිලධාරී, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දස මහල් රෝහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති භාර නිලධාරී, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (බටහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු, වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.


