නාවික හමුදා ජලමාණක සේවාව මඟින් නිර්මාණය කල වාලච්චේන කලපුවට අදාල සිතියම නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

මඩකලපුව, වාලච්චේන ධීවර වරාය වෙත වාලච්චේන කලපුව ඔස්සේ ආරක්‍ෂිතව ප්‍රවේශ විය හැකි පිවිසුම් මාර්ගය හඳුනාගැනීම සඳහා නාවික හමුදා ජලමාණක සේවාව මඟින් එම කලපුවේ සිදුකල ජලමාණක මිනුම් කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරිමෙන් අනතුරුව නිර්මාණය කල සිතියම (Bathymetric Fair Sheet of Valachchenai Lagoon) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම අද දින (2023 අගෝස්තු 08) නාවික හමුදා ජලමාණක ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික හමුදා ජලමාණක ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ අධීක්‍ෂණයෙන් වාලච්චේන ධීවර වරායට පිවිසීම සඳහා ආරක්‍ෂිත පිවිසුම් මාර්ගයක් හඳුනාගැනීම සඳහා එම කලපුව සිතියම් ගත කිරීමේ ජලමාණක කටයුතු 2023 ජුලි මස නාවික හමුදා ජලමාණක සේවාව මඟින් ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා ජලමාණක සේවාව මඟින් වාලච්චේන කලපුව සිතියම් ගතකිරීම සඳහා සිදුකල ජලමාණක කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිර්මාණය කල සිතියම මෙලෙස නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම අද දින (2023 අගෝස්තු 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි. මෙම සිතියම ඉතා කෙටි කාලයකින් සාර්ථකව නිර්මාණය කිරීම තුලින් හඳුනාගත් වාලච්චේන ධීවර වරාය වෙත පිවිසෙන ආරක්‍ෂිත පිවිසුම් මාර්ගය භාවිතා කිරීම මඟින්, එම ධීවර වරාය භාවිතා කරනු ලබන ධීවරයින් හට ඉදිරියේදී වාඩත් ආරක්‍ෂිතව ධීවර කටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති අතර, වාලච්චේන කලපුව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශ‍යේ නාවික හමුදාව විසින් කුඩා යාත්‍රා යොදවා සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතුද ඉදිරියේදී වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.