ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය ගරු ජනාධිපති තුමන් විසින් පිරික්සුමට ලක් කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදුකරයි

දේශයේ අභිමානවත් නාවික බලය, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය, නාවික හමුදාධිපති තුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දින (2024 මාර්තු 01) නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිරික්සුමට ලක්කිරීම ත්‍රීකුණාමලය වරායේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික ) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

ඕනෑම රටක යුද නෞකාවන් ගෙන් සුසැදි නාවික බලඇණිය, එම රටේ ජාතික බලය නියෝජනය කරනු ලබන අභිමානවත් නාවික බලය සංකේතවත් කරයි. "Fleet Review" සම්ප්‍රදාය මඟින් රාජ්‍ය නායකයා විසින් නෞකා බලඇණිය පිරික්සුමට ලක් කිරීම සිදුකරනු ලබයි. අතීතයේ එලෙස රටක නෞකා බලඇණිය පිරික්සුමට ලක්කළ ප්‍රධාන අවස්ථා ලෙස; නාවික සංග්‍රාම සඳහා නෞකා බලඇණියේ සූදානම පිරික්සුමට ලක් කිරීම, රටේ නාවික බලය විදහාපෑම සහ විශේෂ අවස්ථාවන්හිදී පිරික්සුමට ලක් කිරීම ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

රාජ්‍ය නායකයින් විසින් තම රටේ නාවික බලඇණිය පිරික්සුමට ලක් කිරීම ( Fleet Review) යුරෝපයේ මධ්‍යතන යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන නාවික හමුදා සම්ප්‍රදායක් ලෙස පැවතගෙන එනු ලබයි. විශේෂයෙන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් පැවත එන මෙම සම්ප්‍රදාය ආරම්භයේදී නාවික සංග්‍රාම සඳහා මෙහෙයුම් සූදානම පිරික්සුමට ලක් කිරීම සඳහාත් පසුකාලීනව රාජකීය සංවත්සර සහ වැදගත් අවස්ථා සැමරීමේදීත් මෙලෙස රාජ්‍ය නායකයා විසින් නෞකා බලඇණිය පිරික්සුමට ලක් කිරීම (Fleet Review) නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අද දින (2024 මාර්තු 01) ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය පිරික්සුමට ලක් කිරීම ත්‍රීකුණාමලය වරායේදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරුණු අතර, එහිදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ, පරාක්‍රමබාහු, ගජබාහු, නන්දිමිත්‍ර, සයුර, සමුදුර, ශක්ති සහ ප්‍රතාප යන නෞකාවන් ත්‍රීකුණාමලය ඇතුල් වරායේ නැංගුරම්ලා ගරු ජනාධිපති තුමන්ගේ පිරික්සුම සඳහා සහභාගී කරවීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, ගරු ජනාධිපති තුමන් විසින් නාවික හමුදාවේ නෞකා බල ඇණිය විධිමත් ලෙස පිරික්සුමට ලක් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා සහභාගී වූ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සමඟ ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයේ, නාවික මැදුර පරිශ්‍රයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් පොල් පැළයක් රෝපණය කිරීමද සිදු කෙරිණි.