නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ 2024 අප්‍රේල් මස 04 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රවී රණසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රවී රණසිංහ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයට එක් වී ඇත. ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය මූලික ඉංජිනේරු පාඨමාලාව 1989 වර්ෂයේදීත්, සාගරික ඉංජිනේරු විශේෂඥතා පාඨමාලාව 1994 වර්ෂයේදී ඉන්දියාවේදී හදාරා, ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2018 වර්ෂයේ අප්‍රේල් මස 20 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තටාකාංගණය (බටහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඉංජිනේරු (නව නිපැයුම්), නියෝජ්‍ය අධිකාරි තටාකාංගණය (නැගෙනහිර), අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා, කොමදෝරු අධිකාරි තඨාකාංගණය (උතුරු මැද), කොමදෝරු අධිකාරි තඨාකාංගණය (උතුර), කොමදෝරු අධිකාරි තඨාකාංගණය (බටහිර), අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වැනි ප්‍රමුඛ නිළතල දරා ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් රවී රණසිංහ අද දින (2024 අප්‍රේල් 09) නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කල අතර, ඔහු අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස එම ධූරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ඇත.