නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 අප්‍රේල් 20) නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් මහරෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ අධීක්‍ෂණයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, ත්‍රීකුණාමලය රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන්, එම රෝහල වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගනෙහිර නාවික විධානයේ සියළුම නෞකා සහ නාවික තටාකාංගණයේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලද අතර, ඒ සඳහා නැගෙනහිර විධාන නාවික රෝහලේ සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් මහරෝහල් රුධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදීම සිදු කෙරිණි.