නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නලීන් නවරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නලීන් නවරත්න අද දින (2024 අප්‍රේල් 21) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් නලීන් නවරත්න වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් නලීන් නවරත්න වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේදී 20 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් නලීන් නවරත්න, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, අධ්‍යක්‍ෂ නාවික අවි හා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නාවික හමුදා ජ්‍යේෂ්ඨ උපදේශක, නියෝජ්‍ය ආඥාපති නැගෙනහිර නාවික විධානය හා වාරය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (ත්‍රීකුණාමලය වරාය), අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, ආඥාපති ගිණිකොන නාවික විධානය සහ ආඥාපති උතුරුමැද නාවික විධානය යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.