Mini CARAT - 2024 ද්වීපාර්ශ්වික අභ්‍යාසය සාම්පූර් හීදී ආරම්භ වෙයි

2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන Mini CARAT– 2024 ද්වීපාර්ශ්වික අභ්‍යාසය අද දින (2024 අප්‍රේල් 22) නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson) ගේ ප්‍රධානත්වයෙන් සාම්පූර් හීදී ආරම්භ විය.

ඒ අනුව, Mini CARAT– 2024 ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2024 අප්‍රේල් මස 22 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එහිදී, Force Protection Exercise, Small Unmanned Aircraft (sUAS), Explosive Ordnance Disposal (EOD) සහ Women, Peace and Security (WPS) යන කාණ්ඩ යටතේ න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාස හා වැඩමුළු ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය, නාවික පාබල අංශය සහ ඇමරිකානු මැරීන් බලඝණය එක්ව මැරීන් බලකා මූලස්ථානය, වි‍ශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානය, නාවික තටාකාංගනය, උප්පාරු සහ කොළඹ ප්‍රදීපාගාර අවන්හල යන ස්ථානයන්හීදී සිදුකිරීමට නියමිතව ඇත.