මඩු මාතා දේව ප්‍රතිමාව යාපනය දූපත් ප්‍රදේශයේ දේවස්ථාන වෙත වැඩම කරවීම සඳහා නාවික හමුදා සහාය

මන්නාරම මරඳ මඩු දේවස්ථානයේ සියවස් සැමරුමට සමගාමීව, යාපනය ‍ප්‍රදේශය වෙත වැඩම කරවන ලද මඩු මාතා දේව ප්‍රතිමාව, යාපනය දූපත්වාසී කතෝලික බැතිමතුන් හට ආශීර්වාද ලබාගැනීමට සහ ප්‍රතිමාව දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීම පිණිස දූපත් වෙත වැඩම කරවීම සඳහා පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් 2024 අප්‍රේල් මස 21 වන දින සිදු කෙරිණි.

වසර පනහකට (50) වරක් මන්නාරම මරඳ මඩු මාතා දේව ප්‍රතිමාව කතෝලික බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස දේවස්ථානයෙන් පිටත දේවස්ථානයන් වෙත වැඩම කරවීම සිදුකරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්‍ෂණය යටතේ මඩු මාතා දේව ප්‍රතිමාව යාපනය ප්‍රදේශයේ ඩෙල්ෆ්ට්, එළුවතිව් සහ කයිට්ස් යන දූපත් වෙත වැඩම කරවීම සඳහා අවශ්‍ය මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මෙලෙස නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.