නාගදීප විහාරස්ථානයේ හිටපු විහාරාධිපති හිමියන් අනුස්මරණය කිරීම සඳහා ආගමික වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ හැට තුන්වන (63) ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් මාලාවක් 2024 අප්‍රේල් මස 23 සහ 24 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්ෂණයෙන් මෙම ආගමික වැඩසහටන් මාලාව සංවිධානය කෙරිණි.

ඒ අනුව, 2024 අ‍ප්‍රේල් මස 23 වන දින රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමෙන් අනතුරුව, 2024 අප්‍රේල් මස 24 වන දින ගරුතර මහා සංඝරත්න‍ය හතළිස් හත් (47) නමක් වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීම සිදුකෙරුණු අතර, මෙම පිංකමට සමඟාමීව නයිනතිව් දූපත් වාසී ජනතාව වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට ද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් මෙන්ම, බොදු බැතිමතුන් පිරිසක් බැති සිතින් සහභාගි වී සිටියහ.