පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවූ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කල පළමු පුද්ගලයා ලෙස සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිට වූ නාවික හමුදාවේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද දින (2024 අප්‍රේල් 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ මව් බිමට විශාල කීර්තියක් ගෙන දුන්, රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා නාවික හමුදාව ලබාදුන් සුවිශේෂී සහයෝගය වෙනුවෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ විසින් නාවික හමුදාධිපති වෙත සිය ස්තුතිය පලකිරීම සිදුකෙරුණු අතර, ලෝක වාර්තාව පිහිටුවීම වෙනුවෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ වෙත පිරිනමන ලද කුසලානය පරීක්ෂා කල නාවික හමුදාධිපති, විශ්‍රාමිකව සිටියදී උවද, තම අරමුණ කරා ළඟාවීම වෙනුවෙන් අධිෂ්ඨානශීලීව සහ කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීම විශේෂයෙන් ඇගයීමට ලක් කර, සිය සුභාශිංෂණ පිරිනැමීමටද කටයුතු කෙරිණි.

තවද, එම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ සහ නාවික හමුදාධිපතිගේ නාවික සහායක කොමදෝරු කෝසල වර්ණකුසූරිය ද සහභාගී වී සිටියහ.