නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසයේ භූ ජල තරණ ප්‍රහාරක අභ්‍යාසය මොල්ලිකුලම් වෙරළ තීරයේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 අභ්‍යාසයේ භූ ජලතරණ ප්‍රහාරක අභ්‍යාසය (Amphibious Operations) අද දින (2024 ඔක්තොබර් 10) උදෑසන වයඹ නාවික විධානයේ මොල්ලිකුලම් වෙරළ තීරය හා ඒ ආශ්‍රීත මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඒ අනුව, සතුරු පාර්ශවය පාලනය කරන භූමියක් වෙත මුහුදු මාර්ගයෙන් මිතුරු හමුදා උපක්‍රමිකව ඇතුළුවී, ආරක්‍ෂාව තහවුරු කර සතුරු ග්‍රහණයෙන් මුදාගැනීම සහ ප්‍රදේශයෙහි සාමාන්‍ය ජනජීවිතය යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් සිදු කිරීම පිළිබඳ පුහුණු අභ්‍යාස අද දින (2024 ඔක්තෝබර් 10) සිදු කෙරුණු භූ ජලතරණ ප්‍රහාරක අභ්‍යාසය තුලදී සිදු කෙරිණි. මොල්ලිකුලම් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිට ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති ගොඩබෑමේ නෞකාව මඟින් අධියර තුනක් (03) යටතේ වෙරළබඩ මුර යාත්‍රා සහ RHIB යාත්‍රා මඟින් භට පිරිස් භූ ජලතරණ සංග්‍රාමික උපක්‍රම සහ ක්‍රමවේදයන්ට අනුකූලව ගොඩබිමට රැගෙන ඒම මෙම අභ්‍යාසයේදී සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Bell 212 හෙලිකොප්ටර් යානයක්ද එහිදී සංග්‍රාම භූමිය වෙත ගුවනින් භටපිරිස් රැගෙන යාමේ අභ්‍යාස සඳහා එක්විය.

Marines Field Training Exercise Blue Whale - 2024 අභ්‍යාසය සඳහා බංගලාදේශය, මාලදිවයින සහ පාකිස්ථානය නියෝජනය කරමින් විදේශීය නාවික හමුදා සාමාජිකයින් විසි පස් (25) දෙනෙකු සහභාගි වන අතර, නාවික පාබල, මැරීන් විශේෂ යාත්‍රා බලඝණය, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, ගවේශණාත්මක කාර්ය සාධක බලකාය හා නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික හමුදා පුද්ගලයින් ඇතුළුව එකසිය අනුපහක් (195) සහභාගී වේ.

තවද, අද දින (2024 ඔක්තෝබර් 10) සාර්ථකව අවසන් වුණු භූ ජලතරණ ප්‍රහාරක අභ්‍යාසය වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, ඒ සඳහා වැඩ බලන ආඥාපති නාවික පාබල කොමදෝරු සනත් පිටිගල, ධජ නිලධාරී නාවික දියත් විධනය කොමදෝරු සංජීව පෙරේරා, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු රොහාන් දිසානායක, නාවික අණභාර නිලධාරී (ත්‍රීකුණාමලය දකුණ) හා ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කපිතාන් සංජීව කොඩිකාර, අණදෙන නිලධාරී ශ්‍රී ලංකා නාවික නෞකා භරණ කපිතාන් ටීපී දීගල, අණදෙන නිලධාරී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර හා පළමු වන මැරීන් බළ ඇණිය, කොමාණ්ඩර් සමන්ත දිසානායක, ශ්‍රී ලංකා යුද හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නාවික හමුදා මූලස්ථානයේ, වයඹ නාවික විධානයේ, නැගෙනහිර නාවික විධානයේ, සහ දියත් විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.