ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරමේෂ් සිවමනි (DG Paramesh Sivamani, PTM, TM ) නිල හමුවක් සඳහා අද දින (2024 නොවැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

නාවික හමුදාධිපති විසින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ආනන්ද් මුකුන්දන් (Captain Anand Mukundan) ද සහභාගීවී සිටියහ.