කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවික නිවාස සංකීර්ණය විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාදන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකළ නාවික නිවාස සංකීර්ණය විවෘත කිරීම අද (2024 දෙසැම්බර් මස 24), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, දකුණු නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ, නාවික හමුදා ඉංජිනේරු සහ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් හා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූල්‍ය දායකත්වයෙන්, කතරගම දෙමහල් නාවික වන්දනා නිකේතනය ඉදිකිරීම සිදුකෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ රාජකාරි නියුතු නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන මුළුතැන්ගෙය, නාවික ගබඩාව, ආහාර ගබඩාව සහ සමුද්‍ර ගලවා ගැනීමේ උප මධ්‍යස්ථානය සහිත පස් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමෙන් පසුව, මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායන මධ්‍යයේ මෙලෙස නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරිණි.

තවද, එම ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා ශිල්පීය දායකත්වය දැක් වූ නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපති, එහිදී ඔවුන්ගේ සේවය ඇගයීමටද කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.