නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ජනවාරි මස 11 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික තටාකංගණය, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයන්හි නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදා මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත පුහුණු වන නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්සරයට සහභාගීවීමෙන් අනතුරුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු එම විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික තටාකංගණය, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර යන ආයතනයන්හි නිරීක්‍ෂණ සංචාරය සිදුකර, නාවික හමුදා මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති, පුහුණු කටයුතු සහ නේවාසික පහසුකම් නිරීක්‍ෂණය කර එම කටයුතු උසස් අන්දමින් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරිණි.

මෙම සංචාරයේදී, නාවික හමුදාධිපති විසින් නැගෙනහිර නාවික විධානයේ නෞකා හා යාත්‍රා වෙත හා නාවික තටාකාංගනයේ ආයතනයන්ට අයත් පුහුණුවන නිලධාරීන් හා නාවිකයන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් ඇමතීම, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදීත්, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා, රන්වැලි, විජයබා සහ ගෝඨාභය යන ආයතනයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් ඇමතීම, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේදී සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර, පැරකුම්බා, ගෝකණ්න, ලංකාපටුන සහ කාශෂ්‍යප යන ආයතනයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් ඇමතීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික සමුද්‍රීය ආරක්‍ෂක අභිප්‍රායන් සාක්‍ෂාත් කරගැනීම උදෙසා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය කලාපයේ සහ ඉන් ඔබ්බට ජාත්‍යන්තර සාගරය දක්වා පුළුල් සමුද්‍රීය වපසරියක සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ඉන්දීය සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍යය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග හා නව ප්‍රවණතා මැඩපැවැත්වීම සඳහා ප්‍රතිචාර දැක්වීම, සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සහ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම වෙනුවෙන් මෙහෙයුම් සිදුකිරීමේ වගකීම ඉටුකිරීමට පමණක් නොව, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රමුක කාර්යය භාරය වෙනුවෙන් නාවික හමුදාවේ සම්පත්, හැකියාවන් සහ පිරිස්බලය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් හා පලදායිතාවයෙන් යුතුව යෙදවීමට නාවික හමුදාව කටයුතු සිදුකරනු ලබන බවත්, සෑම නාවික හමුදා පුද්ගලයෙක්ම ඒ සඳහා අධිෂ්ඨානශීලීව අඛණ්ඩව කැපවිය යුතු බවත් අවධාරණය කෙරිණි.

තවද, මෙම සංචාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, අනූෂා බානගොඩ මැතිණිය ද සහභාගී විය.