නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ජනවාරි මස 12 සහ 13 යන දෙදින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය, ශික්‍ෂා, තම්මැන්නා සහ ගජබා යන ආයතනයන් මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

2025 ජනවාරි මස 12 වැනි දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමෙන් අනතුරුව, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු එම විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ නාවික හමුදාධිපති, එම විධානයේ නිල සංචාරය ආරම්භ කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයන්හි නාවික හමුදා මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති, පුහුණු කටයුතු සහ නේවාසික පහසුකම් නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, එම කටයුතු උසස් අන්දමින් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම එහිදී සිදුකෙරිණි.

2025 ජනවාරි මස 13 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා හා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයන්හි සහ ඕලුතුඩුවායි හා තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයන්හි නාවික හමුදා කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු, අලුත්වැඩියා හා නඩත්තු කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ නේවාසික පහසුකම් නිරීක්‍ෂණය කර, එම කටයුතු උසස් අන්දමින් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති, පණ්ඩුකාභය සහ ශික්ෂා ආයතනයේ නිලධාරීන් සහ නාවිකයන් ඇමතීම ශික්‍ෂා ආයතනයේදීත්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා, ගජබා, පුස්සදේව සහ ඕලුතුඩුවායි හා තාවුල්පාඩු යන ආයතන හා අනුඛණ්ඩ වෙත අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් ඇමතීම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදීත් සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රජයේ ප්‍රතිපත්තීමය තීරණයන්ට අනුකූලව, සමුද්‍රීය ආරක්‍ෂක අරමුණු ළඟාකරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා උපරිම දායකත්වය සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම අපේක්‍ෂා කරන බව අවධාරණය කෙරිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නිලධාරීන් සහ නාවිකයන් අතර මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීම තුළින් නාවිකයන්ගේ ගැටළු කඩිනමින් නිරාකරණය කරගනිමින් රාජකාරිය සඳහා කැපවිය යුතු බව පැවසු නාවික හමුදාධිපති, එම සම්බන්ධතාවය සඳහා ජ්‍යේෂ්ඨ නාවිකයන්ට විශාල වගකීමක් පැවරෙන බවත් පවසන ලදී. නාවික හමුදාවේ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ නාවිකයන් හට කණිෂ්ඨ නාවිකයන් පමණක් නොව, කණිෂ්ඨ නිලධාරීන්ද යහමඟට ගැනීමේ වගකීමක් පවතින බවත් පවසන ලදී. නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය කලාපයේ සහ ඉන් ඔබ්බට ජාත්‍යන්තර සාගරය දක්වා පුළුල් සමුද්‍රීය වපසරියක සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව පැවසූ නාවික හමුදාධිපති, ඉන්දීය සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙණ මත්ද්‍රව්‍යය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග හා නව ප්‍රවණතා මැඩපැවැත්වීම, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකර දේශීය ජල තීරය ආරක්‍ෂා කිරීම මඟින් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙහෙයුම් සිදුකිරීමේ වගකීම ඉටුකිරීමට පමණක් නොව, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ කාර්යය භාරය වෙනුවෙන් නාවික හමුදාවේ සම්පත්, හැකියාවන් සහ පිරිස්බලය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් හා පලදායිතාවයෙන් යුතුව යෙදවීමට නාවික හමුදාව කටයුතු සිදුකරනු ලබන බවත්, සෑම නාවික හමුදා පුද්ගලයෙක්ම ඒ සඳහා අධිෂ්ඨානශීලීව අඛණ්ඩව කැපවිය යුතු බවත් අවධාරණය කෙරිණි.