ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සංවිධායකත්වයෙන් තවත් ගවේෂණාත්මක කඳු නැගීමේ අභ්‍යාසයක් සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතය 2025 ජනවාරි මස 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ස්වභාවික සෞන්දර්යයෙන් හා මනස්කාන්ත පරිසර පද්ධතියකින් සමන්විත වූ, සුන්දර මධ්‍යම කඳුකරයේ කළුපහන ප්‍රදේශයේ; බඹරකන්ද, වැලි වංගුව සහ ඔහිය සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙළ ඇතුළු වඩාත් අභියෝගාත්මක සහ මනරම් භූමි ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සංවිධානය කෙරුණු ත්‍රාස්‍යජනක කඳු නැගීමේ ගවේෂණ චාරිකාවක් සාර්ථකව අවසන් කෙරිණි.
ඒ අනුව, මෙවර අභ්‍යාසය; ත්‍රාස්‍යජනක කඳු නැගීම, කඳවුරු බැඳීම සහ ත්‍රාස්‍යජනක ක්‍රීඩා ආදී අංග කිහිපයකින් සමන්විත වූ අතර, සාමාජිකයන් හට දළ බෑවුම් සහිත මංපෙත්, රළු භූ දර්ශන සහ ඝණ වනාන්තරව සහිත අති දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට මෙන්ම, බඹරකන්ද දියඇල්ල පිහිටි ප්‍රදේශය හරහා ද, ත්‍රාස්‍යජනක සහ උද්යෝගිමත් නැඟීමක් සහ ප්‍රපාතාකාර වංගු සහිත මාර්ගයක් ලෙස ප්‍රසිද්ධ යක්ෂයාගේ පඩිපෙළ හරහා ද ගවේෂණය කිරීමට ලැබීම, මෙවර අභ්‍යාසයට සහභාගී වූවන් හට සුවිශේෂී අත්දැකීමක් විය.
නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සාමාජිකයන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම්, ඔරොත්තු දීමේ හැකියාව මැන බැලෙන ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ අංගයන්ගෙන් සමන්විත වූ මෙම ගවේෂණ චාරිකාවට සමඟාමීව, පරිසර සංරක්ෂණය සඳහාද දායකවෙමින්, එම පරිසරය වෙත බැහැර කර තිබූ ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය එම පරිසරයෙන් ඉවත් කිරීමද සිදුකෙරිණි.
තවද, මෙවර අභ්‍යාසය සඳහා වයඹ නාවික විධානයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සභාපති, කපිතාන් නිශ්සංක වික්‍රමසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.