නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘THE PORTHOLE’ වාර්ෂික ප්‍රකාශණය එළිදකි

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළිදක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි තෙවන කලාපය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝශප් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පිළිගැන්වීම, අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් 2022 වර්ෂයේ එළිදැක්වීම ආරම්භ කෙරුණු මෙම ‘The Porthole’ සංග්‍රහය මඟින් නාවික හමුදා පුද්ගලයන් විසින් විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ සිදුකළ පර්යේෂණාත්මක නිබන්ධන එළිදැක්වීම සහ නාවික හමුදා පුද්ගලයන්ගේ ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අපේක්‍ෂා කරණු ලබයි.

ඒ අනුව, ‘The Porthole’ සංග්‍රහයෙහි තෙවන කලාපය; උප‍දේශක නිලධාරීන්, ශිෂ්‍ය නිලධාරීන්, පුහුණුවන නිලධාරින්, නාවික උපදේශකයන් සහ පුහුණුවන නාවිකයන් විසින් රචිත හරවත් ශාස්ත්‍රීය ලිපි එකතුවකින් සමන්විත වේ.