මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහන මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරෙන පුහුණු වැඩසටහන් ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේදී නාවික හමුදාධිපති සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් මත්ද්‍රව්‍ය, අපරාධ, දූෂණය සහ ත්‍රස්තවාදයෙන් ලොව සුරක්ෂිත කර ගෝලීය සාමය සහ ආරක්ෂාව ඇති කිරීම සඳහා දායකත්වය දක්වනු ලබන අතර, ඒ යටතේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහන මඟින් සාමාජික රාජ්‍යයන්ගේ සමුද්‍රීය වපසරිය තුළ සිදුවන සමුද්‍රීය අපරාධ මැඩ පැවැත්වීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගොඩනැඟීම සඳහා පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි.

තවද, මෙම පුහුණු වැඩසටහන යටතේ දේශීය හා ‍විදේශීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතන වෙනුවෙන් නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම පරීක්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් හා සම්බන්ධ පුහුණු පාඨමාලාවන් (Visit Board Search & Seize – VBSS) 2016 වර්ෂයේ සිට ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ දි පැවැත්වෙන අතර, මේ වන විට එවැනි පුහුණු පාඨමාලා 50 ක් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.