ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා 28ක් නාවික හමුදාවේ දායකත්වයෙන් පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කරයි

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කල රජයේ වී ගබඩා පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ 2025 ජනවාරී මස 29 වැනි දින වන විට වී ගබඩා විසි අටක් (28) පිරිසිදු කර ප්‍රථීසංස්කරණය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 2025 ජනවාරි 23 වැනි දින ආරම්භ කෙරුණු මෙම රජයේ වී ගබඩා පිරිසිදු කර ප්‍රථීසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ, උතුරු මැද නාවික විධානය මඟින්; නොච්චියාගම, තලාව, හැලඹවැව, තඹුත්තේගම, මැදවච්චිය, රඹෑව, ඈදගල, කටියාව, කලා වැව, කැකිරාව, නෑගම, අනුරාධපුර සේනානායක, මුරුක්කන් සහ සාවස්තිපුර යන ප්‍රදේශයන්හී පිහිටි රජයේ වී ගබඩා විසි හතරක් (24) පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ වයඹ නාවික විධානය මඟින් තබ්බෝව සහ රාජකදළුව යන ප්‍රදේශයන්හී පිහිටි රජයේ වී ගබඩා දෙකක් (02) ප්‍රථිසංස්කරණය කෙරුණු අතර, ගිණිකොණ නාවික විධානය මඟින් සම්මන්තුරෙයි සහ පානම පිහිටි රජයේ වී ගබඩා දෙකක් (02) පිරිසිදු කර ප්‍රථිසංස්කරණය කෙරිණි.

තවද, ජාතික කර්තව්‍යන්හිදී තාක්‍ෂණික සහ ශිල්පීය දායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතුරුව සූදානමින් සිටියි.