ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2025 ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පවත්වයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (International Military Sports Council) සැමරුම් මාර්ග ධාවනය - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ හා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ ගේ සහභාගීත්වයෙන් අද (2025 පෙබරවාරි 18) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ සිට අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය දක්වා පවත්වන ලදී.

‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශ පාඨය පෙරදැරිව 1948 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින ආරම්භ වී ඇති ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය ලොව විශාලතම බහුවිධ සංවිධානයක් වන අතර, එය සාමාජික රටවල් 140ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන සහ ලොව විශාලතම ක්‍රීඩා ඉසව් සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන ගෝලීය ක්‍රීඩා සංවිධානයක් වේ.

ඒ අනුව, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පවත්වන ලද 2025 වර්ෂයේ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී කිලෝමීටර 02 කට අධික දුරක් ආවරණය කරමින් ත්‍රිවිධ හමුදා මුලස්ථාන නව ක්‍රීඩාංගනය අසලින් නිමාවට පත් විය.

තවද, මෙම අවස්ථාවට සහභාගී වූ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම එහිදි ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණූ අතර, මෙම සැමරුම් මාර්ග ධාවන අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් මෙන්ම ආබාධිත රණවිරුවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.