පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වැනි මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි

2025 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් (03) සමන්විත, කොමදෝරු Ahsen Ali Khan ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් අද (2025 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී කොමදෝරු Ahsen Ali Khan ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමු වූහ.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම විසින් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු ඉදිරිපත් කිරීමක් සඳහාද පාකිස්ථානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ 54 වැනි මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගීවී සිටියහ.