විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් දෙදෙනෙක් (02) සහ නාවිකයන් තිස් හතර දෙනෙක් (34) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, අනූෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 වැනි දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී, 32 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
ඒ අනුව, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් පුහුණු සාමාජිකයාට හිමි කොමාණ්ඩර් එස්එන්කේ සිල්වා අනුස්මරණ කුසලානය උප ලුතිනන් ආර්එම්වයිකේ රත්නායක විසින්ද, දක්‍ෂතම වෙඩික්කරුවාට හිමි කොමාණ්ඩර් සීඩි මාටින්ස්ටයින් අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි කේඑම්එස්ආර් ප්‍රේමලාල් විසින්ද, හොඳම ශාරීරික යෝග්‍යතාකරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්කේ දළුගම අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ජේඩබ්ජිඑම්පී කුමාර විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබු ප්‍රධාන සුළු නිලධාරි කේජී ශාන්ත අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි කේජීඑච් රන්සිත් විසින්ද, පාඨමාලාවේ අතිශූර පිහිණූම්කරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් ටිඩී පලිහේන අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි කේඩබ්ඩිකේ හේරත් විසින් සහ පාඨමාලාවේ අතිශූර පුහුණු සාමාජිකයාට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්ඩබ් ගාල්‍ලගේ අනුස්මරණ විශේෂ යාත්‍රා බලඝණයේ සිරිය ලුතිනන් ඩබ්එම් දිල්ශාන් විසින්ද හිමිකර ගන්නා ලදි.
මෙහිදී පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ඔවුන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 38 දෙනෙකු ගෙන් ආරම්භ වූ විශේෂ යාත්‍රා බලඝණය, අද පවත්නා තත්වයට ක්‍රමිකව වර්ධනය වීම සඳහා ආරම්භයේ සිට විවිධ වකවානුවල එම බලඝණයට අණදුන් අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ නාවිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම තීරණාත්මක සාධකයක් වූ බවත්, මව්බිමේ ස්වෛරිභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදු හා රණක්ෂිතයට පත් විශේෂ යාත්‍රා බලඝණ නිලධාරින් හා නාවිකයින් ගෞරවපුර්වකව සිහිපත් කරන බවත් පවසන ලදි.
අභියෝගාත්මක කාලවකවානුවක් පසුකරමින් රට නිවැරදි දැක්මක් සහිතව ඉදිරියට ගමන් කරන පසුබිමක, ඊට සහාය වීම සඳහා පුරවැසියන් අතර විශේෂ පුරවැසියන් ලෙස හමුදා වෙත සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව පැවසූ නාවික හමුදාධිපති, රාජකාරිය නිසි ලෙස ඉටුකර, හමුදා වෙත පැවරී ඇති පුරවැසි වගකීම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටුකිරීම, විසිර යන නාවික හමුදා පුද්ගලයන් වෙතින් නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් පවසන ලදී.
එමෙන්ම, සුවිශේෂී නාවික හමුදා පුද්ගලයෙකු ලෙස නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ක්‍රියාන්විත රාජකාරි සඳහා අවතිර්ණ වන විසිර යන නාවික හමුදා පුද්ගලයින් විශේෂ යාත්‍රා බලඝණයට ආවේණික උසස් වෘත්තීය නිපුණත්වය තවදුරටත් ඔපමට්ටම් කර ගනිමින් මනා විනය හා පැවැත්මෙන් යුතුව නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරිම සඳහා අධිෂ්ඨානශිලීව කැපවීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කල නාවික හමුදාධිපති, විසිර යන නාවික හමුදා පුද්ගලයින්ගේ ආදරණිය දෙමාපියන් වෙතද එහිදී සිය ගෞරවනීය ප්‍රණාමය පුදකිරීම සිදු කෙරිණි. එමෙන්ම, විසිර යන ලද 32 වන බඳවා ගැනිමට අයත් නිලධාරීන් සහ නාවිකයින් සාර්ථකව පුහුණු කල විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි ඇතුළු පුහුණු උපදේශක මණ්ඩලය වෙතද සිය ප්‍රසාදය පල කිරීම එහිදි නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.
විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් විසින් සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් එම බලඝණ පරිශ්‍රයේ සහ නිකල්සන් කෝව් මුහුදු තීරයේ කුසලතා පුහුණු සංදර්ශණයක් දෙරණ , ගුවන හා දියඹ ත්‍රිත්වයම උපයෝගි කර ගනිමින් සිදුකරන ලද අතර, ඒ සඳහා විශේෂ යාත්‍රා බලඝණයේ සැගවුණු වෙඩික්කරුවන්, සංග්‍රාමික කිමිදුම්කරුවන්, VBSS කණ්ඩායම්, සුනඛ සංචිතයට අයත් සාගරික විශේෂ ක්‍රියාන්විත සදහා පුහුණු කරන ලද සංග්‍රාමික සුනඛ කණ්ඩායම්, විශේෂ මෙහෙයුම් සටන් කලා කණ්ඩායම්, වෙරළබඩ නාගරික ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන විශේෂ මෙහෙයුම් කණ්ඩායම් සහ කොමාණ්ඩර් කමල් තිස්ස කුමාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නාවික හමුදා පැරෂුට් සංචිතය නියෝජනය කරනු ලබන විශේෂ යාත්‍රා බලඝණයේ පැරෂුට් පැනිම් සාමාජිකයින්ද සහභාගි වන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ හා එම මැතිණිය, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, යුද්ධ හා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් මෙන්ම, විසිර යන ලද 32 වැනි බඳවා ගැනීමට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.