36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ සහභාගිත්වයෙන් 2025 මාර්තු මස 22 වැනි දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, සිදුකෙරිණි.

නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික තීරණ ගැනීමේදී, වගකීම් දැරීමට හැකි දැනුමින් පිරිපුන් නායකයින් ලෙස කණිෂ්ඨ නිලධාරීන් හැඩගැස්වීමේ අරමුණින්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, 2024 නොවැම්බර් මස 11 වැනි දින ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව සඳහා ඉන්දීය නාවික හමුදාවේ එක් නිලධාරියෙක් (01), ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එක් නිලධාරියෙකු (01) සහ නාවික හමුදාවේ නිලධාරීන් දහඅට දෙනෙකු (18) ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් විසි දෙනෙකු (20) සහභාගී විය. මෙම සහතික ප්‍රදානෝත්සවයේදී, සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියාට හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් (අවි) ඊඑල්සීඒ පෙරේරා විසින්ද, හොඳම කතිකයාට හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) ඊඒඅයිකේ ප්‍රියදර්ශන විසින්ද, හොඳම ආඥාපති නිබන්දනය ඉදිරිපත් කල ශිෂ්‍ය නිලධාරියා‍‍ට හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) ඩබ්එච්එම් කරුණාරත්න විසින්ද, හොඳම ජාත්‍යන්තර ශිෂ්‍ය නිලධාරියාට හිමි සම්මානය ඉන්දීය නාවික හමුදාවේ කොමාණ්ඩර් එස් සුනිල් ජෝෂි විසින්ද, විසින් හිමි කර ගැනීමට සමත් විය.

සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීමෙන් අනතුරුව, උත්සව සභාව අමතමින් 36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල ශිෂ්‍ය නිලධාරීන් වෙත සුභපැතූ නාවික හමුදාධිපති, එම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම සඳහා දායක වූ පුහුණු උපදේශක මණ්ඩලය වෙතද, සිය ප්‍රසාදය ඵල කිරීම සිදු කෙරිණි.

තවද, ‍මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, කපිතාන් සාලිය පරණගම, 36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ උපදේශක කාර්ය මණ්ඩලය සහ පාඨමාලාවේ නිලධාරින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්, පුහුණුවන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.