ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150 වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු රොජර් වෝඩ් (Commodore Rodger Ward) ඇතුළු එම බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත ධූත පිරිසක් 2025 මාර්තු මස 22 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර, ඊට සමගාමීව එම ධූත පිරිස නිල හමුවක් සඳහා අද (2025 මාර්තු මස 24) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

ලොව විශාලතම සමුද්‍රීය සංධානය ලෙස සැලකෙන ඒකාබද්ධ සමුද්‍රීය බලකාය රාජ්‍යන් 46ක නාවික හවුල්කාරීත්වයක් වන අතර, 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව එහි 39 වැනි සාමාජිකයා ලෙස සංධාන ගතවිය. ජාත්‍යන්තර මුහුදේ නීතිමය භාවිතය ප්‍රචලිත කරමින් (International Rules Based Order – IRBO) සාගරයේ ආරක්‍ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය වෙනුවෙන් කාර්යය සාධක බලකා පහක් (05) යටතේ ඒකාබද්ධ සමුද්‍රීය බලකාය මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එහි 154 වැනි කාර්යය සාධක බලකාය වෙත 2025 වර්ෂයේ පලමු මාස 06 සඳහා අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150 වැනි කාර්ය සාධක බලකාය මැද පෙරදිග ගල්ෆ් කලාපයෙන් පිටත සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එහිදී එම කලාපය ඔස්සේ යාත්‍රා කරනු ලබන වෙළඳ නෞකාවන්ගේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීමේ වගකීම එම කාර්යය සාධක බලකාය වෙත පැවරී ඇත. 2025 වර්ෂයේ ජනවාරි මස 15 වැනි දින සිට එම කාර්ය සාධක බලකාය වෙත අණදීම නවසීලන්ත නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.

ඒ අනූව, මෙම නිල හමුවේදී කොමදෝරු රොජර් වෝඩ් සහ නාවික හමුදාධිපති අතර සමුද්‍රීය ආරක්‍ෂාව සහ ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් සිදු කෙරුනු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණී.

එමෙන්ම, නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් 150 වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී ඇතුළු ධූත පිරිස වෙත ඉදිරිපත් කිරීමක් මගින් දැනුවත් කිරීම, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් විසින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

තවද, මෙම සංචාරයේදී 150 වැනි කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ඇතුළු ධුත පිරිස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේද නිල සංචාරයෙහි නිරතවීමෙන් අනතුරුව, 2025 මාර්තු මස 26 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.