2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාව දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම නාවික හමුදාධිපති හමුවෙයි

2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම 2025 මාර්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී රග්බි කුසලානය නාවික හමුදාධිපති වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී තෙවන වරටත් කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාවට දිනාදීම අගයමින් රග්බි කණ්ඩායම වෙත නාවික හමුදාධිපති විසින් සුභ පැතුම් පිරිනමන ලදි.

අඛණ්ඩ පුහුණුව සඳහා කැපවීම, විනය සහ කණ්ඩායම් හැඟීම තුළින් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම වෙත මෙම කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාවට දිනාදීමටත්, එමඟින් නාවික හමුදාවේ කීර්ති නාමය ඉහල නැංවීමට හැකියාව ලැබීමත් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය ඵල කල නාවික හමුදාධිපති, ඉදිරි ජයග්‍රහන සඳහා අවශ්‍ය පුහුණු කටයුතු සහ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද එහිදී පවසන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති, රියර් අද්මිරාල් සනත් පිටිගල, අධ්‍යක්‍ෂ නාවික ක්‍රීඩා කොමදෝරු මනෝජ් මුම්මුල්ලගේ සහ නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායමේ කළමනාකරුද සහභාගී වී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති ජයග්‍රාහී කාන්තා රග්බි කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදි.